ලංකාවේ ජීවත් වෙන අපිට නම් මාරි බිස්කට් ගැන අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනෙ නෑ.මංචි, මැලිබන් වගේ දේශීය නිෂ්පාදන සන්නාම වලින්ද නිෂ්පාදනය වෙන මාරි බිස්කට් අද වෙන කොට ලොකු කුඩා බොහෝ දෙනෙක්ගේ ප්රියතම කෑමක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම කීවොත් ලංකාව තුළ වැඩි වශයෙන්ම අලෙවි වෙන බිස්කට් වර්ග අතරින් එකක් විදියටත් මේ මාරි බිස්කට් හදුනා ගන්න පුළුවන්. ඒ උනත් සමාජයේ බොහෝමයක් දෙනා මාරි බිස්කට් කියන්නෙ දුප්පතුන්ගේ කෑමක් විදියට හදුන්වනවා දැක ගන්න පුළුවන්. ඇත්තෙන්ම කියනවානම් බරට සාපේක්ෂව ගත්තම මිලෙන් අඩු බිස්කට් වර්ගයක් වීමත් මේකට හේතුවක් වෙන්න පුළුවන්. ඒ කොහොම උනත් සැබැවින්ම මාරි බිස්කට් කියන්නෙ රාජ භෝජනයක් කියලා කීවොත් නම් ඔබ පුදුමයට පත් වෙනවා නිසැකයි. ඇත්තෙන්ම මේ මාරි බිස්කට් නිර්මාණය වෙලා තියෙන්නේ බ්රිතාන්ය රජ පවුලේ තේ මේසය වෙනුවෙන් බව තමයි කියවෙන්නේ. ඒ වගේම තමයි පොඟවගෙන කෑම වෙනුවෙන්ම නිර්මාණය වුන මාරි බිස්කට් එකේ රස වැඩිපුරම දැනෙන්නෙත් අපේ ලංකාවේ තේ වර්ග වල පොඟවගෙන කෑවම කියලත් කියවෙනව. ඉතින් අපි කොයි කවුරුත් ආස කරන මාරි බිස්කට් ගැන නොදන්නා කරුණු කිහිපයක් තමයි අපි අද ඉදිරිපත් කරන්නේ..

අපේ රටේ මාරි යන නමින් හදුන්වන මේ බිස්කට් වර්ගයේ මුල් නම උනේ මාරි නෙමෙයි. මේ බිස්කට් වර්ගෙට ඒ නම ලැබුණ හැටි ගැන කතාව තමයි මේ විදියට ඉදිරිපත් කරන්නේ. හිරු නොබසින අධිරාජ්ය විදියටත් හදුන්වන මහා බ්රිතාන්ය 17 වන සියවස වගේ කාලෙ වෙනකොට තම බලය රටවල් ගනණාවක පතුරවාගෙන තිබුණා. ඉතින් බ්රිතාන්ය බලයෙන් උපරිම තත්වයක තිබුණ මේ කාලේදී රුසියාවේ දෙවනි ඇලෙක්සැන්ඩර් සාර් තුමාගේ දියණිය වන මාරියා ඇලෙක්සැන්ඩ්රෝනා කුමරිය හා වික්ටෝරියා අධිරාජිණියගේ පුතු වුණු එඩ්වඩ් කුමාරයා අතර විවාහය සිදු වුණා. ඒ වර්ශ 1874 දී. ඉතින් මේ විවාහයේ ප්රබලතාවය කෙතරම්ද කීවොත් බලවත්ම අධිරාජ්ය 2ක් අතර සබදතාවයන් තව තවත් සමීප වෙන්න මේ විවාහය හේතුවක් වුණා. මේ නිසාම රුසියානු අධිරාජ්යයාගේ දියණියත් බ්රිතාන්ය මහ රැජිනගේ පුතණුවනුත් අතර සිදු වූ මේ විවාහ මංගල්ය ඉතාමත් ඉහළින් සමරන්න රටවල් දෙකේම විශාල ජනතාවක් එක් රොක් වුණා.
සැබවින්ම බ්රිතාන්ය රජ පවුල තුළ සිදු වන විවාහයක් බ්රිතාන්ය ජාතික මංගල්යයක් ආකාරයෙන් සැලකීම අදටත් දැක ගන්න ලැබෙන දෙයක්. සමස්ථ වශයෙන් මුළු එංගලන්තය පුරා සතියකට වඩා වැඩි කාලයක් සැණකෙළියක සිරි මවන්න මේ වගේ උත්සවයන් සමත් වෙනවා. විශේෂයෙන්ම බ්රිතාන්ය රජ පවුලේ උරුමය හා නාමය රැගෙන යා හැකි දරුවෙකු ලැබිය හැකි ආකාරයේ විවාහයන් සදහා රජ පවුල තුළින් ලැබුණේ ඉතාමත් ඉහළ පිලිගැනීමක්. මේ නිසාම මෙම යුවලගේ විවාහය සඳහාත් බ්රිතාන්ය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සූදානමට ලක් වුණා. විවාහයට අවශ්ය සියළුම කටයුතු රටේ ඉහළම දක්ශතා දක්වන ශිල්පීන් ලවා ඉටු කර ගැනීම මෙහිදී සිදු වෙනවා. ඒ වගේම තමයි අලුතින් විවාහ වී පැමිණෙන මාරියා කුමරියව බ්රිතාන්යට පිළිගැනීම උදෙසා නිල බිස්කට් වර්ගයක් හදුන්වා දීම සිදු වෙන්නෙත් මේ අනුව තමයි. එහිදී ලන්ඩනයේ තිබුණ විශාලම බේකරියක් වූ පීක් ෆ්රීන්ස් ආයතනය මෙහි නිර්මාතෘ විදියට කටයුතු කළා. එසේ නිර්මාණය වුන බිස්කට් වර්ගය මාරියා කුමරියගේ නමින්ම නම් කිරීම සිදු කෙරුණා. මෙසේ මුල් කාලීනව එංගලන්තය තුළ මාරියා යන නමින් හැදින්වුන මේ බිස්කට් වර්ගය කාලයත් එක්ක පසු කාලීනව මාරි බිස්කට් යන නමින් ප්රචලිත වුණ බව කියවෙනවා.
කොහොම වුනත් මේ කාලෙ වෙනකොටත් තේ බීම බ්රිතාන්ය තුළ සුවිශේෂී සම්ප්රදායක් බවට පත් වෙලා තිබුණා. මෙහිදී කේක් ඇතුළු තවත් කෙටි කෑම වර්ග භාවිතයට ගත් අතර මෙවැනි කෑම වර්ග අතර කාලයක් තිස්සේ ප්රමුඛතාවය ගෙන සිටීමට රිච් ටී නම් බිස්කට් වර්ගයට හැකි වී තිබුණා. ඉතින් රජ පවුල තුළ ඉතා ඉහළ ලෙස ජනප්රිය වෙලා තිබුණ පැනි රසින් ඉහළ මෙම රිච් ටී නම් බිස්කට් වර්ගයට සමාන විදියට මාරියා බිස්කට් වර්ගයත් නිර්මාණය කරන්න එහි නිර්මාතෘවරුන් කටයුතු කළා.
කොහොම වුනත් රජ පවුලේ කටයුත්තක් වෙනුවෙන් නිර්මාණය කරන දෙයක් ඉතාම ඉහළ ප්රමිතියකින් යුක්ත විය යුතු නිසාම ඉතාම දක්ෂ බේකරි කරුවන් හා රස පරීක්ශකවරුන් මේ සදහා යොදා ගැනුණා. තවත් විශේෂම දෙය වුනේ හොදම වර්ගයේ අමුද්රව්ය මේ සදහා යොදා ගන්නත් නිෂ්පාදකයන් කටයුතු කර තිබුණා.
ඒ වගේම තමයි රටේ දුප්පත් පොහොසත් ඕනෑම කෙනෙක්ට රස බලන්න හැකි ආකාරයෙන් අඩු මිලක් යටතේ තමයි මෙය නිර්මාණය වුණේ.
තවත් වැදගත්ම කරුණක් තමයි මාරි බිස්කට් නිර්මාණය වුනේම තේ වල පොඟවගෙන කෑම සදහායි. විශේශයෙන්ම මේ කාලෙ වෙනකොටත් ලංකාවෙන් අපනයනය කරපු හොදම වර්ගයේ තේ කොල වලට බ්රිතාන්යයන් හොදටම වහ වැටිලා හිටපු නිසා මාරි බිස්කට් වල රස බලන අයටත් සිලෝන් තේ කෝප්පයක් පිළිගන්වන්නත් ඔවුන් අමතක කරේ නෑ . ඒ වගේම තමයි කහට තේ , තේ , කිරි තේ යන ඕනෑම ආකාරයකට ගැලැපෙන විදියට මාරි බිස්කට් එක නිර්මාණය කරන්නත් නිෂ්පාදන කන්ඩායම හුඟක් වෙහෙස වුණා. ඉතින් දින ගණනාවක උත්සාහයක ප්රථිඵලයක් විදියට අවසානයේදී රසම රස මාරියා වට්ටෝරුව නිර්මාණය කරගන්න ඔවුන්ට හැකි වුණා. ඉතින් මේ බිස්කට් එකේ වට්ටෝරුවේ අමුද්රව්ය විදියට යොදා ගත්තේ තිරිඟු පිටි, සීනි, සූරියකාන්ත තෙල්, මෙන්ම වැනිලා සාරයන් තමයි. අමුද්රව්ය නිසි අනුපාතයෙන් මිශ්ර කිරීම වගේම බේක් විය යුතු නියමිත ප්රමාණය ආදී කරුණු පිළිබදවත් මේ වට්ටෝරුවේ ඇතුළත් කරලා තියෙනවා. එදා ඉදන් අද දක්වාම මාරි බිස්කට් නිර්මාණය කරන්න යොදා ගන්නේ මේ වට්ටෝරුවම තමයි.
මේ බිස්කට් එකේ තියන අනර්ඝ රසය නිසාම එය මාරි , මරියා හා මාරියට් යන නම් වලින් යුරෝපය පුරාම ඉමහත් ජනප්රියත්වයට පත් වුනා. ඕනෑම කෙනෙක්ට පහසුවෙන් නිශ්පාදනය කර ගැනීමේ හා මිළදී ගැනීමේ පහසුව නිසාම මෙහි ජනප්රිය බව තව තවත් ඉහළ ගිය බව කියන්න පුළුවන්. කොහොම වුනත් වර්ශ 1880 පමණ කාලය වෙන විට යුරෝපයේ සෑම රටකම පාහේ මාරි බිස්කට් ජනප්රියත්වයට පත් වීම හරහා වාණිජ වශයෙන් නිශ්පාදනය කිරීමත් ආරම්භ වෙලා තිබුණා. ලොකු කුඩා කාගෙත් අතර ඉමහත් ජනප්රියත්වයට පත් වුණ මාරි බිස්කට්ටුවේ තවත් වැදගත්ම ලක්ශණයක් වුණේ එය බේක් කිරීමෙන් පසුව නැවත වරක් වියලීමකට ලක් කිරීමයි. මේ හේතුව නිසා හුළං නොවදින අසුරණයක දමා බොහෝ කාලයක් කල් තබා ගැනීමේ හැකියාවත් මාරි බිස්කට් සතු වෙනවා.
තේ වේලට වගේම අමතර වශයෙන් සුළු ආහාරයක් විදියටත් මාරි බිස්කට් භාවිතයට ගන්න පුළුවන්. විශේෂයෙන්ම පාන් වැනි ආහාර සදහා ආදේශකයක් වශයෙන් භාවිතා කිරීමේ හැකියාවත් මේ බිස්කට් එක සතු වෙනවා. බටර් , චීස්, ජෑම් ,මාමයිට් වැනි තවරනයන් සමග ආහාරයට ගැනීමේ හැකියාවද මෙය සතු වෙනවා. ඒ වගේම පාන් යොදා ගනිමින් සැන්ඩ්විච් සාදා ගැනීම වෙනුවට විශාල ප්රමාණයේ බිස්කට් දෙකක් අතරට සැන්ඩ්විච් මිශ්රණය යොදා සැන්ඩ්විච් ආකාරයෙන් ආහාරයට ගැනීමේ හැකියාවද පැවතීම විශේෂත්වයක්.
ඇත්තෙන්ම කියනවානම් මාරි බිස්කට් අපට තේ වේල රසවත් කරන්න වැදගත් වෙන්නෙ බිස්කට් වර්ගයක් විදියට විතරක්ම නෙමෙයි කියලා මේ අනුව නම් තේරෙනවා. ඒ වගේම තමයි මේ මාරි බිස්කට් යොදාගෙන හදන්න පුලුවන් වෙනත් අතුරුපස වර්ග ගොඩක් තියන බව හදුන ගන්නත් පුළුවන්. මේවා හදන්න කිරි සහ බිත්තර යොදා ගන්නේ නැති නිසා නිර්මාංශික පුද්ගලයන්ට උනත් ගැටලුවකින් තොරවම මේවා ආහාරයට ගන්න පුලුවන් බවත් කියන්න පුළුවන්.
ඉතින් කොහොම උනත් මේ විදියට මාරි බිස්කට් යොදාගෙන ඉතාම රසවත් හා පෝශ්යදායී ආහාර වර්ග රැසක් හදාගන්න පුළුවන් බව හදුනගන්න පුළුවන්.
මුලදී කීව විදියට පාන් වෙනුවට මාරි බිස්කට් යොදාගෙන සැන්ඩ්විච් වැනි වෙනත් ආදේශක ආහාර වර්ග හදාගැනීම වැඩි වශයෙන් දැක ගන්න ලැබුණේ 1930 ගනන් වලදී තමයි. මේ කාල වකවානුවේදී පැවති ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා ඇති විය හැකි විනාශකාරී තත්වය සැලකිල්ලට ගනිමින් මිනිසුන් විශාල වශයෙන් තිරිඟු වගා කරන්න යොමු වුණා. කොහොම උනත් 1939 දී සිවිල් යුද්ධය අවසන් වීමත් එක්ක රටේ විශාල වශයෙන් තිරිඟු අතිරික්තයක් ඇති වුණා. ඉතින් මේ අතිරික්ත තිරිඟු අපතේ යවනවා වෙනුවට ඒවායින් මාරි බිස්කට් නිර්මාණය කරන්න යොදා ගන්න ස්පාඤ්ඤ රජය ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඉන් පස්සේ ඒ මාරි බිස්කට් තම කොලනි වලට යවලා විශාල ආදායමක් ලබන්නත් ඔවුන්ට හැකි වුණා. ඒ අනුව මාරි බිස්කට් කියන්නේ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයෙන් පසු නැගී සිටීමේ සංකේතයක් විදියට හදුනා ගන්නවා.
මාරි බිස්කට් එකේ හැඩය ගැන අවදානය යොමු කළොත් එය පහසුවෙන් හදාගන්න පුළුවන් වට්ටෝරුවක් නිසා අපිට කැමති හැඩයකින් නිවසේදීම හදා ගැනීමේ හැකියාවත් තියෙනවා. ඒ උනත් බොහෝමයක් වාණිජ වශයෙන් මාරි බිස්කට් හදන සෑම ආයතනයක්ම වගේ ඒවා රවුම් හැඩයෙන් යුක්තව නිර්මාණය කරනවා දැක ගන්න පුළුවන්. මාරි බිස්කට් වල නිර්මාතෘ වෙන පීක් ෆ්රීන්ස් ආයතනයට කරන ගෞරවයක් විදියට තමයි තවමත් සෑම රටකම වාගේ මේ මාරි බිස්කට් රවුම් හැඩයට හදන්නේ.
මේ විදියට හැම රටකම වගේ හදන මාරි බිස්කට් වල දැකගන්නට ලැබෙන්නේ සමාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. සාමාන්යයෙන් වානිජ වශයෙන් නිශ්පාදනය කරන මාරි බිස්කට් එකේ වටේට බූට් සපත්තු පෙළක මෝස්තරයක් වගේ රටාවක් යොදලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඒ වගේම අඟල් 2ක පමණ විශ්කම්භයකින් යුක්තව නිර්මාණය කරන මේ බිස්කට් එකේ හරි මැද්දෙන් අඟලක පමණ පළලකින් යුක්තව තමයි මාරි කියන නම සටහන් කරන්නේ. ඒ බ්රිතාන්ය රාජකීය අක්ශර රටාවෙන් (font) .
නිශ්පාදන ආයතනයේ සන්නාමය මාරි කියන නමට ඉහළින් හෝ පහළින් තමයි සඳහන් කරන්නේ.
ඒ වගේම තමයි තවත් විශේෂ කරුණක් වෙන්නේ මාරි බිස්කට් වල නිර්මාතෘ රට බ්රිතාන්ය වුණාට විවිධ රසයන්ගෙන් යුක්තව මාරි බිස්කට් හැදීමේ පුරෝගාමියා වෙන්නේ ලංකාව තමයි. ඒ අනුව චොක්ලට් රසැති මාරි , තිරිඟු පිටි වෙනුවට සහල් පිටි මිශ්ර කරන ලද මාරි වගේ විවිධ විශේෂිත වූ නිශ්පාදන වර්ගයන් වෙළඳපොලට නිකුත් කෙරෙනවා දැක ගන්න පුළුවන්. කොහොම නමුත් මේ වගේ විවිධ රසවල් වලින් නිශ්පාදනය කරන මාරි බිස්කට් වර්ග ලොව පුරා රටවල් 65කට වඩා වැඩි ප්රමාණයකට අපනයනය කරන්න අද වෙනකොට ලංකාවෙ අපිට හැකියාව ලැබිලා තියෙනවා.
ඒ වගේම තමයි මුලදී මාරි බිස්කට් හදන්න ගත්ත වට්ටෝරුවේ සුළු සුළු වෙනස්කම් කරමින් විටමින් හා ඛණිජ වර්ග යොදා ගනිමින් පෝෂණ ගුණය ඉහළ දැමීමත් , කැලරි ප්රමාණය ගැන විමසිලිමත් වෙමින් තෙල් හා සීනි ප්රමාණය අවම කරන ලද බිස්කට් වර්ග ආදී විවිධ ප්රභේධ රැසකින් මාරි බිස්කට් නිර්මාණය කිරීමට අද වෙන කොට වාණිජ බිස්කට් නිශ්පාදන ආයතන කටයුතු කරනවා දැක ගන්න පුළුවන්.
ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි ආසාවෙන් කන මාරි බිස්කට් එක නිර්මාණය වුණේ. තවත් මේ වගේම වැදගත් ලිපියකින් හමු වෙමු. ඔබට සුභ දවසක්.
සටහන -: සෞම්යා දිල්රුක්ෂි