ලෝක දේශපාලනය තුළ ප්රධාන වශයෙන් තවමත් කතාබහට ලක්වන රාජ්යයක් ලෙස ජර්මනිය හදුන්වන්න පුළුවන්. ජර්මනිය යනු ලෝක දේශපාලනයේ බල පෙරලි නිර්මාණය කරපු මෙන්ම ලෝක බල දේශපාලනය වරින් වර වෙනස් කිරීමට සම්බන්ධ වුණු රාජ්යයක් නිසාවෙනි. ඒ තත්ත්වය නැවත අලුත් කරමින් වර්තමානයේදී ජර්මනිය සම්බන්ධයෙන් අපට අසන්නට ලැබුණු ප්රධාන දේශපාලන මාතෘකාව වුනේ එරට චාන්සල්වරිය වුණු ඇන්ගෙලා මර්කල් සිය ධුරයෙන් නික්ම යෑමයි.

පළමු සහ දෙවන ලෝක යුද්ධයන් තුළ යකඩ රාජ්යයක් ලෙස නිර්මාණය වූ ජර්මනිය නැවත නිදහස්කාමි ලෝකයක් කරා රැගෙන යෑමටත් ජාත්යන්තර දේශපාලනය තුළ නිදහස් රාජ්යයක් ලෙස ජගත් ප්රජාවගේ පිළිගැන්මට ලක් කිරීමටත් කටයුතු කළ එරට ප්රධාන පාලිකාව වූවේ හිටපු චාන්සල්වරිය වන ඇන්ගෙලා මර්කල් බව සදහන් කළහොත් නිවැරදිය. ඒ අනුව මෙම ලිපිය ඇන්ගෙලා මර්කල් නම් ලොව බලවත් කාන්තාව පිළිබඳ කෙටි කියවා බැලීමකි.
වර්ෂ 1954 ජූලි මස 17 වැනි දින බටහිර ජර්මනියේ හැම්බර්ග් ප්රදේශයේදී ඇන්ගෙලා මර්කල් උපත ලැබුවාය. ඇන්ගෙලා මර්කල්ගේ දෙමාපියන් විසින් ඇයට තබන ලද මුල් නම වූවේ ඇන්ගෙලා දොරොතියා කැස්නර් යන නාමයයි. හොර්ස්ට් සහ හර්ලින්ඩ් කැස්නර් යනු ඇගේ දෙමාපියන් වූ අතර පියා දේවගැතිවරයෙක් ද මව ඉංග්රිීසී සහ ලතින් භාෂාව පිළිබද ගුරුවරියක් ද විය. ඇන්ගෙලා උපත ලබා සති කිහිපයකට පසු ඇය සමග ඇගේ දෙමාපියන් නැගෙනහිර ජර්මනිය(වර්තමානයේ ජර්මානු ප්රජාතන්ත්රවාදී ජනරජය) කරා පැමිණ තිබුණි.
වර්ෂ 1973දී ඇන්ගෙලා සිය උසස් පාසල් අධ්යාපනය අවසන් කරනු ලැබු අතරම එම වසර අවසානයේදී භෞතික විද්යාව හැදෑරීම සදහා ඇය කාල් මාක්ස් විශ්වවිද්යාලයට ( ලිප්සීග් විශ්වවිද්යාලය) පිවිසෙන ලදී. විශ්විද්යාලයට පිවිසි ඇන්ගෙලාට ඇය නොදැනුවත්ම ඒ වෙන විටත් ඇගේ ජීවිතය කරා පැමිණි සුවිශේෂි පුද්ගලයෙකු සිටියේය. ඔහු වෙන කවුරුත් නොව ඇන්ගෙලා සමගම ‌ඇගේ විශ්වවිද්යාලයේ භෞතික විද්යාව හදාරන ලද උල්රිච් මර්කල් නම් වූ කඩවසම් තරුණයාය. ඔවුන්ගේ ප්රේම සම්බන්ධය දිනෙන් දින දළු ළා වැඩුණු අතර එහි අවසන් ප්රතිඵලය ලෙස 1977 වර්ෂයේදී ඔවුන් දෙදෙනා යුග දිවියට පිවිසෙන ලදි. 1978 වසරේදී ඇන්ගෙලා සිය භෞතික විද්යා උපාධිය අවසන් කරන අතර ඉන් අනතුරුව ඇය නැගෙනහිර බර්ලීනයේ විද්යා ඇකඩමියේ මධ්යම භෞතික රසායන විද්යා ආයතනයේහි අධ්යයන පීඨයේ සාමාජීකාවක් වශයෙන් කටයුතු කිරීමට පිවිසුණි. 1990 කාල සීමා වෙන තෙක් ඇය එම ආයතණයේ සේවයේ නිරතවිය.
කාලය ක්රම ක්රමයෙන් ගෙවී ගියේය. ඇන්ගෙලාගේ ජීවිතයෙහි පළමු අභියෝගාත්මක අවස්ථාව උදාවන්නේ ද මේ අතරතුර කාලයේදීය. එනම් ඇන්ගෙලාගේ සැමියා වූ උල්රිට් මර්කල් ඇයගෙන් වෙන්වීමට ගත් තීරණයත් සමගය. උල්රිටි මර්කල් 1986 දී ඇන්ගෙලාගෙන් වෙන් වූ අතර නමුත් සිය නමේ අග කොටස වූ මර්කල් යන නම භාවිතා කිරීමට ඇයට අවස්ථාව ලබා දුන්නේය.
ඇන්ගෙලාට සිය ජීවිතය තුළ කෙතරම් අභියෝගාත්මක අවස්ථා පැමිණිය ද එම අභියෝගයන් සදහා සාර්ථකව මුහුණ දුන්නාය. එහි ප්රතිඵලයක් ලෙස ඇන්ගෙලා මර්කල් 1986 දී ක්වොන්ටම් රසායන විද්යාව පිළිබද සිය නිබන්ධනය සාර්ථකව අවසන් කළ අතර එම නිබන්ධනය උදෙසා ඇයට ආචාර්ය උපාධියක් ද එම වසරේදීම හිමිවිය. එයින් පසු ඇය විද්යා පර්යේෂණ පිළිබඳ පර්යේෂිකාවක් ලෙස කටයුතු කරන්නට වූවා ය. ඇය විසින් එම කාලයේදීම විද්යා ලිපි පෙළක්ම පළ කරන ලදි. එම කාල සීමාව තුළ ඇය විද්යා ක්ෂේත්රය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ද සිදු කරාය.
1989 වර්ෂය ඇන්ගෙලා මර්කල්ගේ ජීවිතයට මෙන්ම ජර්මනියටද සුවිශේෂීතම වර්ෂයකි. ඇන්ගෙලාගේ දේශපාලන ජීවිතයේ ආරම්භය සනිටුහන් කිරීම මෙන්ම ජර්මනියේ බර්ලීන් තාප්පය බිද දැමූ වර්ෂය හා ජර්මනියේ ප්රථම ප්රජාතන්ත්රවාදී මැතිවරණය පැවැත්වූ වර්ෂය බවට එම වර්ෂය පත්වීම එයට හේතුවයි. පාසල් කාල සීමාවේ මෙන්ම විශ්ව විද්යාලයේදී ද නායකත්වය පිළිබඳ අත්දැකීම් ලද ඇන්ජෙලාට දේශපාලනය අමුතු ක්රියාවලියක් නොවිය. එනම් ඇය පාසල් කාලයේදී හා විශ්වවිද්යාල කාලයේදී මාක්ස්වාදය මෙන්ම ලෙනින්වාදය පිළිබඳ අධ්යයනය කරන ලද්දියක් වීමත් දක්ෂ කථිකත්වයකින් හෙබි තැනැත්තියක් ද වූ නිසාවෙනි. 1989 වර්ෂයේදී ඇන්ගෙලා ඒ අනුව ක්රියාකාරී දේශපාලනයට පිවිසෙන්නෙ ජර්මනියේ ප්රථම ප්රජාතන්ත්රවාදී රජයේ ප්රකාශීකාවක් ලෙස රැකියාවට බැදීමත් සමගය.
ඇය 1990 දී හෙල්මුට් කෝල් නායකත්වය දරන ලද ක්රිස්තියානි ප්රජාතන්ත්රවාදී දේශපාලන පක්ෂයේ (CDU) සාමාජිකාවක් බවට පත්වූවාය. ක්රිස්තියානි ප්රජාතන්ත්රවාදී පක්ෂ සාමාජිකාවක් වූ ඇන්ගෙලා චාන්සලර් හෙල්මුට් කෝල්ගේ රජයෙහි කාන්තා හා තරුණ කටයුතු පිළිබඳ ඇමතිනිය වශයෙන් ද ක්රියාකරන්නට විය. ඇන්ගෙලා මර්කල් යනු සිය දේශපාලන ජීවිතය තුළ දේශපාලන තනතුරු බහුතරයක් දරන ලද අත්දැකීම් බහුල දේශපාලන නායිකාවකි. ක්රිස්තියානි ප්රජාතන්ත්රවාදී දේශපාලන පක්ෂයේ උප සභාපතිනිය, පාරිසරික, ස්වාභාවික සංරක්ෂණය සහ න්යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ෆෙඩරල් ඇමතිනිය, ජර්මනියේ ක්රිස්තියානි ප්රජාතන්ත්රවාදී දේශපාලන පක්ෂයේ සභාපතිනිය හා ජර්මානු විපක්ෂ නායිකාව වැනි දේශපාලනික තනතුරු ඒ අතරින් ප්රධාන තැනක් ගනියි.
මෙයට අමතරව 2005 වර්ෂයේදී ජර්මනියේ ප්රථම කාන්තා චාන්සල්වරිය ලෙස තේරී පත්වන්නා වූ ඇන්ගෙලා මර්කල් ධූර කාල අවස්ථා හතරක් එනම් පුරා වසර 16 ක් එම ධූරයේ කටයුතු කරනු ලැබුවාය. G-7 රාජ්ය නායක සමුලුව සදාහා වැඩි වාර ගණනක් සහභාගී වූ ජ්යෙෂ්ඨ රාජ්ය නායිකාව වන්නේද ජර්මානු චාන්සල්වරිය වන ඇන්ගෙලා මර්කල් ය.
ඇන්ගෙලා මර්කල් චාන්සල්වරිය දේශපාලනික වශයෙන් නිවැරදි තීන්දු තීරණ මෙන්ම දේශපාලන ක්රියාමාර්ග ගනු ලැබු දේශපාලන නායිකාවකි.
ඒ අතරින් යුරෝපා කලාපයේ සෑම රාජ්යක්ම එකට එකතුකර තබා ගැනීම සදහා උත්සාහ කිරීම ඇන්ගෙලා මර්කල් චාන්සල්වරියගේ දේශපාලනික ක්රියාමාර්ගයන් අතර ප්රධාන තැනක් ගත්තාය. බ්රිතාන්යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් එක් අවස්ථාවකදී ඇයගේ මෙම දේශපාලනික උත්සාහය සම්බන්ධව මෙයාකාරයෙන් සිය අදහස පළ කර තිබුණි. "යුරෝපය ගත කළ ඉතාමත් අසීරුතම වසර කිහිපය තුළ යුරෝපය එකට තබා ගැනීමම ඇය ලද සුවිශේෂී ජයග්රහණයකි."
බ්රේක්සිට් ක්රියාවලිය හරහා බ්රිතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත්ව යෑමට තීරණය කර තිබුණි. ඇන්ගෙලා මර්කල් චාන්සල්වරිය බ්රිතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත්ව යෑම වළක්වා ගැනීමට දැඩි උත්සාහයක නිරත විය. එවකට බ්රිතාන්ය අගමැතිව සිටි ඩේවිඩ් කැමරන්ට ඒ අනුව ඇය පවසා සිටියේ යුරෝපා සංගමය හරහා බ්රිතාන්යයට සහන සැලසීමට තමා කැමත්ත ප්රකාශ කර සිටින බවයි. අවසානයේදී ඇගේ සියලු උත්සාහයන් නිෂ්ඵල කරමින් බ්රේක්සිට් ක්රියාවලිය හරහා බ්රිතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත්ව ගියේය.
බ්රිතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත්ව ගියද ජර්මනිය බ්ර්තාන්යය සමඟ පැවත්වූවා වූ සුහදශීලි මිත්රත්වය ඒ අයුරින්ම පවත්වා ගෙන යෑමට ඇන්ගෙලා මර්කල් චාන්සල්වරිය ක්රියා කළාය.
2015 වසර ග්රීසිය ප්රධාන වශයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා සිටි කාල වකවානුවකි. ග්රීසිය තුළ නිර්මාණය වී තිබුණු ආර්ථිකමය බිද වැටීම එම ගැටලු නිර්මාණය වීම කෙරෙහි බලපෑ හේතුව බවට පත්ව තිබුණි. ඇන්ගෙලා මර්කල් විසින් ග්රීසිය තුළ පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය ගැනීම සදහා සිය සහය ලබා දෙන බව ප්රකාශ කළා ය. ඒ සමඟම ඇගේ එම තීරණයට යුරෝපය සංගමයෙන් හිමි වූවේ එතරම් හොද ප්රතිචාරයක් නම් නොවේ. යුරෝපා සංගමය දැඩිව එම තීරණය විවේචනය කරන්නට විය. නමුත් ඇය සිය තීරණය කිසි විටෙක වෙනස් නොකළ අතර යුරෝ බිලියන ගණනක් ආධාර වශයෙන් ජර්මනිය විසින් ග්රීසියට ලබා දුන්නේය.
DW (Discovery World) මාධ්ය ආයතනය 2021 වසරේදී ඇන්ගෙලා මර්කල් චාන්සල්වරිය සම්බන්ධව වාර්තාමය වැඩසටහනක් නිර්මාණය කරන ලදි. එම වැඩසටහන සදහා සහභාගී වූ 2015 වර්ෂයේ ග්රීසියේ මුදල් අමාත්ය යනිස් වරූෆාකිස් ඇය සම්බන්ධව සදහන් කළ සිටියේ මෙවැන්නකි. "මම මැරෙන තුරුම ඇය මගේ මතකයේ දිගුකලක් රැදෙනු ඇත.නමුත් මා එක් දෙයකට බිය වෙනවා. ඒ තමයි ජර්මනිය හරි යුරෝප ඉතිහාසය හරි කවදා හෝ ඇයව අමතක කර දමාවි කියන දේට."


සිරියානු සරණාගතයන් සම්බන්ධව ඇන්ගෙලා මර්කල් විසින් 2015 වසරේදී ගත් තීරණය තීරණාත්මක හා මතභේදාත්මක තීරණයක් විය. සිරියානු සරණාගතයන් මිලියන ගණනකට ජර්මනියේ දේශසීමාවේ දොරගුළු විවෘත කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් ඇය සදහන් කළාය. මෙම තීරණය සදහා ජාත්යන්තර ප්රජාවගේ පැසසුමට ලක් වුවද දක්ෂිණාංශික දේශපාලන ජර්මානු වැසියන් සහ ජර්මනියේ AFD දේශපාලන පක්ෂයේ සාමාජිකයන් එම තීරණයට එකහෙලා විරුද්ධ වන්නට විය. ජර්මානු වැසියන් ඇන්ගෙලා මර්කල් චාන්සලවරියට විරුද්ධව ඒ අනුව දැඩි උද්ඝෝෂණ මාලාවන්හි නිරත වන්නට විය. 2015 වසරේදී ෆෝබ්ස් සඟරාව ඇන්ගෙලා මර්කල්ව ලොව බලවත්ම පුද්ගලයා ලෙස නම් කිරීමට කටයුතු කරනු ලැබුවේද මෙම තීරණය නිසාවෙනි. ඇයට එරෙහිව ජර්මානු ජනතාව මේ අයුරින් වීදි බැස තිබුණද 2017 වසරේදී නැවත වතාවක් සිය නායිකාව ලෙස ඔවුන් ඇන්ගෙලා මර්කල් තෝරා පත්කර ගත්තේය.
සිරියා සහ යුක්රේන අර්බුදයේදී එම අර්බුදකාරී අවස්ථාව නියමාකර ලෙස කළමනාකරණය කර ගැනීමට ඇන්ගෙලා මර්කල් චාන්සල්වරිය මැදිහත්වීම ඇයගේ ජාත්යන්තරය දේශපාලන භූමිකාව මනා ලෙස නිරූපණය කරන අවස්ථාවකි. රුසියානු ජනාධිපති ව්ලැඩිමර් පුටින් සමඟ ඇය විසින් සිදු කරන ලද සාකච්ඡාවක ප්රතිඵලයක් ලෙස 2015 වසරේදී යුක්රේන සිරියා අර්බුදය කළමනාකරණය කරගැනීමට අවස්ථාව උදාවිය.
ෆෝබ්ස් සඟරාවට අනුව 2020 වර්ෂයේදී ලොව බලවත්ම කාන්තාව මෙන්ම 2018 වර්ෂයේදී ලොව බලවත්ම පුද්ගලයින් අතරින් සිව්වන ස්ථානය හිමි කර ගැනීමටද ඇන්ගෙලා මර්කල් චාන්සල්වරියට අවස්ථාව ලැබුණි. වැඩිම වාර ගණනක් ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුවටද තේරී පත්වූ කාන්තා චරිතය බවටද පත්වූවේ ඇන්ගෙලා මර්කල් චාන්සල්වරියයි.
2021 වසරේදී මැක්ස් ප්ලැනක් සමිතිය විසින් විද්යා ක්ෂේත්රය වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම සම්මානය වන හාර්නක් පදක්කම ලබා ගත් ලොව පළමු රාජ්ය නායිකාව වීමත්,2021 වසරේදීම හෙන්රි කිසන්ර්ග් සම්මානය හිමිකර ගැනීම, 2021 වර්ෂයේදී ජෝන් හොප්කින්ග්ස් විශ්වවිද්යාලය විසින් ගෝලීය නායකත්වය ගෞරවණිය උපාධියක් ප්රදානය කිරීම ආදී සම්මාන හා ගෞරව උපාධි රැසකින් ජර්මානු චාන්සල්වරිය ඇන්ගෙලා මර්කල් පිදුම් ලබා ඇත. ඉන්දිරා ගාන්ධි සම්මානය, විලියම් ෆුල්බ්රයිට් සම්මානය (2018) හා චාල්මේන් ත්යාගයද ඒ අතර වේ.
ඇන්ගෙලා මර්කල් චාන්සල්වරියගේ ජීවිත කතාව අළලා සිනමාපට නිර්මාණය වී ඇති සේම චරිතාප්රදානයන් ද රචනා වී ඇත. Torsten Körner විසින් අධ්යක්ෂණය කරන ලද Angela Merkel: Die Unerwartete (2016) වාර්තාමය සිනමාපටයත් ස්ටෙපන් කොරනේලියස් විසින් රචනා කරන ලද 2013 වර්ෂයේදී ප්රකාශයට පත් කළ ඇන්ගෙලා මර්කල් චරිතාප්රදාන කෘතියත් ඒ අතරින් ප්රධාන තැනක් ගනු ලබයි.
2005 වසරේදී ජර්මනියේ පළමු කාන්තා චාන්සල්වරිය ලෙස තේරි පත්වූ ඇන්ගෙලා මර්කල් නම් රාජ්ය නායිකාව 2021 වසරේදී අද දින සිය ධූරයට සමු දුන්නාය. යකඩ දේශයක් තුළ උපන් ඇන්ගෙලා මර්කල් නම් යකඩ කාන්තාව එලෙස සිය දේශපාලනයෙන් සමුගත්තද ඇයගේ දේශපාලනය පිළිබද ඉතිහාසය ජර්මානුවන් පමණක් නොව සමස්ත ලෝකයම මතු අනාගතයේදී වුවද කතාකරනු නොඅනුමානය.
සටහන - සංජය අපේක්ෂ