දැන් ඔය ස්මාට්ෆෝන් වලින් අපි වැඩ කරනකොට හැමදේටම තියෙන්නේ ඇප්ස්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට හොයන්නේ නොමිලේ ගන්න තියෙන ඇප්ස් තමයි. ඇයි ඉතින් අපි ස්මාට්ෆෝන් එකත් සල්ලි දීලා ගත්තට පස්සේ ආයෙමත් ඇප්ස් වලටත් සල්ලි ගෙවන්න ඕනෙද? එහෙම තමයි අපි ගොඩක් දෙනෙක් හිතන්නේ.

හැබැයි ඔතන අපි නොහිතන, නොදකින දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි සල්ලි ගෙවලා ගන්න ඕන ඇප් එකක සහ සල්ලි ගෙවන්න අවශ්ය නැති ඇප් එකක තියෙන වෙනස. ඒ කියන්නේ, සල්ලි ගෙවලා ගන්න ඇප් එකක තියෙන සුවිශේෂී ෆීචර්ස් සෑහෙන්න විශාල වෙන්න පුළුවන්. ඒ වගේම, තවත් සමහර ඇප්ස් වල සල්ලි ගෙවලා ගන්න සංස්කරණයේ කිසිම විදියකට ඇඩ්ස් වලින් කරදර විඳින්නේ නැතුව ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම, දෙවෙනි දේ වෙන්නේ අපිට ගොඩක් ඇප්ස් වලට විශාල මුදලක් ගෙවන්න අවශ්ය නොවීම. සමහර ඇප්ස් වලට රුපියල් හාරපන්සීයක් ගෙවලා ලයිෆ්ටයිම් උපරිම සේවාවක් ලබාගන්න පුළුවන් කම තියෙනවා. එහෙම බැලුවහම අපිට සල්ලි දීලා ගත්තට කිසිම පාඩුවක් නැති ඇප්ස් මොනවද කියලා දැනගෙන ඉන්න එක හරිම වටිනවා.
ඒ නිසා අපි හිතුවා එහෙම ඇප්ස් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න.

1. KineMaste
ඉස්සර වගේ නෙවෙයි, දැන් වීඩියෝ එඩිටින් ඇප්ස් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒවායින් සෑහෙන්න ප්රමාණයක් නොමිලේ ලබාගන්නත් පුළුවන්. එහෙමනම් KineMaster එතනින් විශේෂ වෙන්නේ ඇයි? KineMaster සල්ලි දීලා ගන්න අවශ්ය වෙන්නේ ඇයි? සරලවම කිවුවොත්, KineMaster කියන්නේ ඇන්ඩ්රොයිඩ් සිස්ටම් වලට තියෙන ප්රබලම වීඩියෝ එඩිටින් ඇප් එකක්. මේ ඇප් එකෙන් වීඩියෝ සහ ඕඩියෝ කපන්න, පුරුද්දන්න, වීඩියෝ ඕඩියෝ ෆිල්ටර්ස් දාන්න, ටෙස්ක්ට් ඕවර් දාන්න, ස්ටිකර්ස් අනං මනං ඕනම දෙයක් ඇඩ් කරන්න වගේ වැඩ සෑහෙන්න තොගයක් කරන්න පුළුවන්. මේ ඔක්කොම ෆ්රී එඩිෂන් එකෙත් තියෙනවා. හැබැයි සල්ලි ගෙවුවොත් තව සෑහෙන්න ෆීචර්ස් ලැබෙනවා සහ KineMaster වෝටර්මාර්ක් එක නැතුව වීඩියෝස් නිර්මාණය කරන්න පුළුවන් කමත් ලැබෙනවා.

2. Poweramp Music Player
සාමාන්යයෙන් ස්මාට්ෆෝන් එකක් ගත්තහම ඒකේ කොහොමත් මියුසික් ප්ලේයර්ස් එකක් දෙකක් එනවනේ. ඒ ඇරෙන්න ඕන නම් තමන්ට කැමති වෙන මියුසික් ප්ලේයර් එකක් එහෙමත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කිසිම ගැටළුවක් නෑ. ඒවා කොලිටිද? ඔව්, අවුලක් නෑ. මියුසික් අහන්න පුළුවන්. හැබැයි කෙනෙක් Poweramp Music Player ඩවුන්ලෝඩ් කරලා, ඒකෙන් මියුසික් ඇහුවොත්, ආයෙ වෙන මියුසික් ප්ලේයර් ඇප් එකක් දිහා බලන්නෙ නෑ. ඒ තරම් කොලිටියට සංගීතය අහන්න පුළුවන් මේ ඇප් එකෙන්. ඒකේ කිසිම අතිශයෝක්තියක් නැහැ. Poweramp Music Player එක ලයිෆ්ටයිම් මිලදී ගන්නත් බොහොම පොඩි ගාණක් යන්නේ. හැබැයි ඒ ගාණට මේ ඇප් එක සෑහෙන්න වටිනවා. මේකේ බොහොම ප්රබල ඕඩියෝ එන්ජින් එකක් තියෙනව වගේම, 64bit ප්රොසෙසින් පවර් එකකුත් තියෙනවා. ඒ ඇරෙන්න මේකේ මීඩියා ලයිබ්රි සිස්ටම් එකත්, ඊක්වලයිසර් එකත් සෑහෙන්න ඇඩ්වාන්ස්.

3. Fluent Forever
දැන් කාලේ තමන් දන්න මව් භාෂාවට වඩා තව එක භාෂාවක් හරි දැනගෙන ඉන්න එක අතිශයින්ම වටිනවා. ඒ නිසාම තමයි විවිධ භාෂාවන් උගන්වන ඇප්ස් එහෙමත් සෑහෙන්න තියෙන්නේ. හරි, මේ භාෂාවන් ඉගෙන ගන්න තියෙන ඇප්ස් ගොඩක් එව්වට ගෙවන්න ඕන නැහැ. ඒත් සමහරුන්ට ඒ ඇප්ස් වලින් ඇත්තටම භාෂාවක් ඉගෙන ගන්නත් බැරි වෙනවා. ආන්න එහෙම නම්, භාෂාවක් හරියට ඉගෙන ගන්න සීරියස් ප්රවේශයක් ලබාදෙන ඇප් එකකට ගෙව්වත් කමක් නෑ කියන තැනට අපි එනවා. අන්න එතනදී තමයි අපිට Fluent Forever ඇප් එක වැදගත් වෙන්නේ. Fluent Forever ඇප් එකේ යම් කිසි භාෂාවක් ඉගෙන ගන්න එක එක විදියේ වීඩියෝස් වගේම, වෙනස් වෙනස් ආකාරයේ ක්රියාකාරකම් තොගයක් හඳුන්වලා දීලා තියෙනවා. ඇත්තටම භාෂා ඉගෙනගැනීමේදී ෆ්රී ඇප් වලින් හොයාගන්න බැරි විදියේ සපෝට් එකක් Fluent Forever එකෙන් ලබාදෙනවා කියන එක බොරුවක් නෙවෙයි

4. Universe in a Nutshell
මේ විශ්වයේ ඇත්තටම කොයි තරම් නම් දේවල් තියෙනවද? අපි ඒවා ඇත්තම ඇත්ත පරිමාණයෙන් අරගෙන හිතලා තියෙනවද? ආන්න ඒකට උත්තරේ තියෙනවා Universe in a Nutshell ඇප් එකේ. මේක පටන් ගන්නකොටම පොඩි ගාණක් ගෙවලා මිලදී ගන්න තියෙන ඇප් එකක්. හැබැයි ගත්තට පස්සේ මේ ඇප් එක අපිව හිතාගන්න බැරි තරමේ අපූර්ව ලෝකෙකට අරගෙන යනවා. පරමාණුවක් ඇත්තටම කොයි තරම් කුඩාද? ස්පුත්නික් වී රොකට්ටුව ඇත්තටම කොයි තරම් විශාලද? අපිට ආසන්නයේම තියෙන මන්දාකිණියක් ඇත්තටම කොයි තරම් විශාලද? මෙන්න මේ වගේ විශ්වයේ තියෙන අපිට හිතාගන්න පුළුවන් හැමදෙයක්ම වගේ කොයි තරම් ප්රමාණයකද කියන එක ගැන අදහසක් අපිට මේ ඇප් එක ඔස්සේ ලබාදෙනවා. පුංචිම බැක්ටීරියාවේ ඉඳලා දැවැන්තම කළු කුහරය දක්වා දේවල් ඉගෙන ගන්නත් මේ ඇප් එක හොදයි.

5. FL Studio Mobile
ඇහිලා තියෙනවද ඔය ඩිජිටල් මියුසික් කරන අය හරිම අපූරු ඩිජිටල් මියුසික් නිර්මාණය කරනවා? ඒ කියන්නේ තියෙන ට්රැක් එකක් හෝ දෙකක් අරගෙන මික්ස් කරලා මොකුත් කිරීමම නෙවෙයි, ඊට වඩා සම්පූර්ණයෙන්ම මුල ඉඳන්ම විවිධ සංගීත භාණ්ඩ වල හඬ සංකලනය කරමින්, නාද රටා මිශ්ර කරමින් මියුසික් ට්රැක් එකක් ගොඩනැංවීම. ආන්න ඒ වැඩේට ගැලපෙන ප්රොෆෙෂනල් සොෆ්ට්වෙයාර් තියෙනවා. ෆෘටි ලූප්ස් කියන්නේ ඉන් එකක්. හැබැයි ඉතින් මේක ගණන්. ඒත් සාධාරණ ගාණකට අවශ්ය නම් මේ ඇප් එකේ මොබයිල් සංස්කරණය ලබාගන්න පුළුවන්. FL Studio Mobile කියන්නේ අන්න ඒකට. මේ ඇප් එක හරහා ඕඩියෝ රෙකෝඩ් කිරීමේ ඉඳලා ඉෆෙක්ට්ස් මොඩියුල් දැමීමේ ඉඳලා හයි කොලිටි එකේ ඕඩියෝ එඩිටින් සහ මික්සින්ග් කරන්න පුළුවන්. ඒ වගේම බිංදුවේ ඉඳලාම ප්රොෆෙෂනල් ලෙවල් එකේ ඩිජිටල් මියුසික් ට්රැක් නිර්මාණය කරන්නත් පුළුවන්. ඇත්තටම FL Studio Mobile ඇප් එක ඇතුළට ගියාට පස්සේ හිතෙන්නේ ඩිජිටල් මියුසික් වල FL Studio Mobile එකට කරන්න බැරි දෙයක් නෑ කියන එක තමයි.

6. Flowkey
පියානෝ ගහන්න ආස නැද්ද? ආස වුණාට ඉගෙන ගන්න තැනක් තියෙන්නත් ඕන, පියානෝ එකක් තියෙන්නත් ඕන. හරි, අපි කියමු පියානෝ එකක් බැරි නම් කීබෝඩ් එකක් හරි ගත්තා කියලා. දැන් ඉගෙන ගන්න කෙනෙක් හොයාගන්නේ කොහොමද? කලබල වෙන්න එපා. Flowkey ඇප් එක පියානෝ ගුරුවරයා විදියට පත් කරගන්නයි තියෙන්නේ. මේ ඇප් එකට සරලවම අපිට පියානෝ උගන්නන්නත්, අපි එහෙම ඉගෙනගෙන ප්ලේ කරන විදියේ හරි වැරදි චෙක් කරලා ඒකට ෆීඩ්බැක් දෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒකට Flowkey එකට පුළුවන් අපි ප්ලේ කරන විදිය ස්මාට්ෆෝන් එකේ මයික්රෆෝන් එකෙන් අහගෙන ඉන්න. ඒ වගේම මේ Flowkey ඇප් එකේ වීඩියෝ ටියුටෝරියල් ගණනාවකින් අපිට විවිධාකාරයේ සිංදු සහ මියුසික් බර ගාණක් උගන්වනවා.

7. MasterClass
අපිට මැරෙන කල් ඉගෙන ගන්න දේවල් තියෙනවනේ. හැබැයි ඉතින් ඉගෙන ගන්න දෙයක් හරියට, ඒ ගැන එක්ස්පර්ට් දැනුමක් තියෙන කෙනෙක්ගෙන් පිළිවෙලකට ඉගෙන ගන්නත් ඕන. අපිට විවිධාකාරයේ හැකියාවන් සහ කුසලතාවයන් වුණත් එහෙම ඉගෙන ගන්න පුළුවන්. ඒක ඩිජිටල් ක්රමේට ඉගෙන ගන්න ඕන කියලා හිතෙනවා නම්, MasterClass තමයි තැන. ඇත්තටම මේ ඇප් එකෙන් ඉවුම් පිහුම් වල ඉඳලා නිර්මාණශීලී ලේඛනය දක්වා, චිත්රපට කලාවේ ඉඳලා රංගනය දක්වා දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම, මේ ඇප් එකේ තියෙන තවත් විශේෂයක් වෙන්නේ, මේ දේවල් උගන්වන්නේ ඒ ඒ ක්ෂේත්රයන් වල ඉන්න දැවැන්ත, ප්රවීණ චරිත වීම තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, MasterClass ඇප් එකේ ඉවුම් පිහුම් උගන්නන්නේ ගෝර්ඩන් රැම්සේ. එතකොට සිනමාකරණය උගන්නන්නේ මාර්ටින් ස්කෝර්සීස්. ටෙනිස් උගන්නන්නේ සෙරීනා විලියම්ස්. දැන් හිතාගන්න පුළුවන් නේ මේ ඇප් එකේ ප්රබලත්වය කොහොමද කියලා. ඇත්තටම මේ ඇප් එක සෑහෙන්න ඉහළ මිලක් අපෙන් ඉල්ලනවා. හැබැයි අපිට ඉගෙන ගන්න ඕන දේවල් උගන්වන්නේ ලෝක ප්රසිද්ධ විශේෂඥයෝ කියන කාරණයත් එක්ක, අපිට ඒ මිල ගැන තර්ක කරන්නත් අමාරුයි.
සටහන - වගීෂා ඕෂිණි