කිසියම් පාරිභෝගික භාණ්ඩයක් නිෂ්පාදන ධාරිතය වැඩිවීමෙන් එහි ඉල්ලුම අධික වුවද මිල පහත වැටීම නිරතුරුවම සිදුවන ක්රියා දාමයකි. බොහෝවිට තාරුණ්යයේ රැකියාවට පත්ව ඇත්තේද මෙබදු තත්ත්වයකි. රටක තරුණ පරපුර යනු එරටේ ශක්තියයි. ඔවුන් රටේ ආර්ථිකයට මෙන්ම ආරක්ෂාවට ද දායකත්වය දක්වන පිරිසකි. අලුත් ලෝකයක් වෙත මංපෙත් එළිපෙහෙලි කරමින් තමන්ගේ නව උත්පාදන හැකියාව මිහිතලයට දායාද කරන සුරදූතයන්ට ලංකාව තුළ අද්යතනයේ නම් අත්ව ඇත්තේ දුක්ඛිත තත්ත්වයකි.
අලුත් ලෝකයක් වෙත දායද කරන සුරදූතයන් වෙනුවට ලාංකීය සමාජයේ තාරුණ්යය අපට දකින්නට ලැබෙන්නේ දක්ෂතාවයන් ඔපමට්ටන් වූව ද විරුකියාවෙන් යුතු තරුණ සමාජයකි. ආසියානු කලාපයේ ඉහළම සාක්ෂරතාවය ඇති රාජ්යයක් වුවත් දශක ගණනාවක් පුරාවට විරැකියාවෙන් පෙළෙන තරුණ සමාජයක් ලංකාව තුළ සැකසී තිබේ. සැබවින්ම මෙය සාකච්ඡා කළ යුතු කරුණකි.
උගත් විරැකියාවෙන් පෙළෙන යෞවණයන් ශ්රී ලංකාවේ 30% ක් නියෝජනය කරයි. රැකියාව සදහා අවශ්යය සුදුසුකම්වල ඇති ඇති අඩු ලුහුඩුතාවයන් පැවතීම හා ඉහළ අධ්යාපනයක් ලැබුවද පෞද්ගලික අංශයේ රැකියාවන්ට යොමු නොවීමත් මේ සදහා හේතුන් බවට පත්ව ඇත. එසේම ඉහළ ඉල්ලුමක් පවතින වෘත්තින්ට පිවිසීමට අකමැත්ත පළ කරන යෞවනයන් ද ඒ අතර සිටී.
අවුරුදු 19ක් පුරා ගුණාත්මක උසස් අධ්යාපනයක් ලබා දැනුමක් සහිතව ඉහළ රැකියාවකට පිවිසීමට සියල්ලෝම කැමැත්තක් දක්වයි. නමුත් වර්තමානයේදී ශ්රී ලංකාවේ තත්ත්වය නම් මීට හාත්පසින් වෙනස්ය. මෙහිදි වර්තමානයේ ශ්රී ලංකාවේ උපාධිදාරීන් විශාල රැසක් රජයේ රැකියා සදහා යොමුව තිබීම ප්රධාන තත්ත්වයකි. ද්විතියික අධ්යාපනය ලද තරුණ පිරිස් වෙනුවෙන් නිර්මාණය වූ බහුතරයක් රජයේ රැකියා සදහා මෙයාකාරයෙන් තෘතියික අධ්යාපනය ලද විශ්වවිද්යාල උපාධිධාරීන් විශාල ප්රමාණයක් රැකියා සදහා බදවා ගැනීම ශ්රි ලංකාවේ තරුණ විරැකියාව තව තවත් උඩු දුවන ගැටලුවක් බවට පත්ව ඇත. ද්විතියික අධ්යාපනය ලද තරුණ පිරිසට පමණක් නොව මෙම තත්ත්වය තෘතියික අධ්යාපනයේ අරමුණු ද ප්රශ්නාර්ථයකට ලක්කිරීමකි. මෙම තත්ත්වය වර්තමාන ලාංකීය විශ්වවිද්යාල අධ්යාපනයේ සැබෑ අරමුණු පිළිබඳ නැවත විමසා බැලීමට මෙන්ම රැකියා වෙළදපොළට සරිලන විශ්වවිද්යාල ක්රමවේදයක් මෙරට නිර්මාණය කිරීමේ අවශ්යතාවය පිළිබඳ නැවත නැවත පසක් කරනු ලබන සිදුවීමක් බවට පත්ව තිබේ.
යෞවන සේවා නියුක්තියෙහි බහුතරයක් පෞද්ගලික අංශය සතු වෙන අතර ජන ලේඛණ හා සංඛ්යා ලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව පෞද්ගලික අංශයේ පුරප්පාඩු වලින් ඉහළ නිපුණතා සහිත රැකියාවල නිරත වන්නේ 7.2% ක් පමණි.
විසි එක් වන ශතවර්ෂයේ ගෝලීය වෙළදපොළ ආර්ථිකයට ගැළපෙන පරිදි මෙරට පවතින පාසල් විෂය මාලාව වෙනස්විය යුතුය. නිපුණතාවයන් වර්ධනය වන පරිදි සකස් කළ යුතුය. තර්ගකාරී අධ්යාපනයක් වෙනුවට විධිමත් ඵලදායිතාවයෙන් යුත් වෘත්තිය අධ්යාපන රටාවක් ඒ අනුව නිර්මාණය කිරීම සිදු විය යුත්තකි. එම නිසා වර්තමාන හා අනාගත ශ්රම බලකාය වඩාත් සංකීර්ණ ආර්ථික රටාවකට ගැළපෙන පරිදි නවීකරණය වූ අධ්යාපනයකින් හා කුසලතා වලින් පරිපූර්ණ පිරිසකගෙන් සමන්විත වීම අත්යවශ්යය වන අතර ඒ සදහා පවතින උසස් හා තෘතික අධ්යාපන අවස්ථා ඉහළ නැංවිය යුතුය. එමගින් රැකියා අතර මාරුවීමේ හැකියාව යම් ප්රමාණයකට වර්ධනය වේ. චීනය, ජපානය හා ඇමරිකාව ආදී රටවල කුඩා කාලයේ පටන් රැකියා වෙළදපොළ ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ කුසලතාවන් වර්ධනය කරනු ලබයි. ඔවුන්ගේ ද්ව්තියික හා තෘතික අධ්යාපනයෙන් පසු රැකියා වෙළදපොළට අනුගතවේ.
ශ්රී ලංකාව කළ යුත්තේ ඉතා හොද රැකියා උත්පාදනයක් මගින් තම ශ්රම බලකායෙහි උපරිම ප්රයෝජන ලබමින් තිරසාර වර්ධන රටාවකට පිවිසීමයි. ඒ සදහා සුදුසු ක්රමවේදය වන්නේ සෘජු විදේශීය ආයෝජන සදහා තරගකාරීත්වය සහ විවෘතභාවය වැඩිකිරීමට ව්යුහාත්මක ප්රතිසංස්කරණ ගොඩනැගීමයි. එමගින් විදේශ සමාගම් නව තාක්ෂණය හා වඩා හොද කළමනාකරණ භාවිතයන් ශ්රී ලංකා වෙළදපොළට විවෘත කිරීමෙන් වඩාත් ඵලදායි හා ඉහළ වැටුප් සහිත රැකියා උත්පාදනය වෙනු ඇත. වෙළද නිදහස මගින් උගත් වෘත්තිකයන්ටද කලාපීය සහ ගෝලීය සැපයුම්දාමයන් තුළ ඉහළ රැකියා අවස්ථාවන් මෙරට තරුණ පරපුරට ලබාදීමට අවස්ථාව උදාවේ. නිවැරදි ප්රතිසංස්කරණයන්ට යොමු වීමෙන් උසස් රැකියා උත්පාදනයට පුළුල් ද්වාරයන් රැසක් විවෘත වන බැවින් ජාතික ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් ලබාදිය හැකිය.
ලෝක ආර්ථිකය වැඩිවශයෙන් සේවා, පුද්ගලික පරිභෝජන හා ඩිජිටල් අලෙවිකරණය වෙත යොමු වෙමින් පවතින සමයක සාම්ප්රදායික රජයේ රැකියාවන් මතම නොයැපී නවෝත්පාදන හා ස්වයං රැකියා අවස්ථාවන් වෙත යොමුවීමට තාරුණ්යට මන්පෙත් සැලසීම අත්යවශ්යය කරුණකි. ශ්රී ලංකාව සිය තරුණ ශ්රමයෙන් උපරිම ඵල නෙලා ගන්නට අපේක්ෂා කරන්නේ නම් ප්රථමයෙන් ශ්රමබලකාය ප්රතිසසංස්කරණය සිදුකළ යුතුය. නවමු ශ්රී ලාංකීක වෙළදපොළක් සදහා පදනම සැකසීමට නම් ශ්රී ලංකාවේ තරුණ තරුණියන්ට විදේශ ප්රග්ධනයට ප්රවේශවීමට ගෝලීය ස්වයං ව්යවසාය පුරෝගාමීන්ගෙන් ඉගෙන ගැනීමට ඉඩහසර සැලසිය යුතුය.
විදේශ රැකියා අවස්ථා ප්රමාණවත් පරිදි පුළුල් කිරීම තුළ මෙරට විරැකියා ගැටලුව යම් ප්රමාණයකට නිරාකරණය කර ගැනීමට හැකියාව ලැ‌බෙනු ඇත. මැද පෙරදිග රැකියයාවන්ට සාපේක්ෂව වැඩිවශයෙන් නැගෙනහිර ආසියාව සහ යුරෝපා කලාපය මූළික කොටගත් රැකියා අවස්ථාවන් මෙරට උගත් තෘතියික අධ්යාපනය ලද තරුණ , තරුණියන්ට මෙන්ම ද්ව්තියික අධ්යාපනය ලද තරුණ , තරුණියන් උදෙසා සකසා දීම සුදුසු ක්රියාමාර්ගයකි. මෙවැනි අවස්ථාවක් නිර්මාණය කිරීම තුළින් මෙරටට ප්රමාණවත් විදේශ විනිමයක් උත්පාදනය කර ගැනීමට ඉඩ ප්රස්ථාව ලැබෙනු ඇත. වර්තමානයේදී කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය සදහා මෙය සුදුසු පිළියමක් ද වෙනු නියතය.
යෞවනය සතු දැනුම, බලය හා ශක්තිය ඵලදායි ලෙස රැකියා වෙළදපොළට සකස් කරගැනීම කාලීන අවශ්යතාවයක් බව ඒ අනුව මෙයින් පසක් කළ යුත්තකි.
සටහන - වගීෂා ඕෂිණි